Thursday, October 1, 2015

අමතක වීම

මුදුන් මුල ගස යටින් හිඳ සරු පසින් ජීවය          ගෙනදෙනා
එයින් දලු ලියලමින් දින දින සෙමෙන් ගස හිස       ඔසවනා
උඩින් ඇති අතු අගින් වට කොළ මලින් යට මුල යට  වෙනා
කෙමෙන් මුල මතකයෙන් ගිලිහී මුලින් ආ මුල   සැගවෙනා

ධීවර ගීතය

කරදියට දිය වෙලා මළ බැඳුණ              ජීවිතය
දිරා යන්නට ළගයි සිදී ගත සවි                බලය
රැය පුරා නිදි වරා නෙළා ගත්            අස්වැන්න
අපට හිමි නැති වුණත් පියවතියෙ   හිනැහෙන්න

දහදියට උරුම නැති හසරැල්ල උන්       රැගෙන
සුසුම පමණක් ලැබුණි ගෙදර අරගෙන    එන්න
රසට මසවුලු නැතත් හෙටත් ජීවත්       වෙන්න
බත් ටිකක් උයාපන් හුරු පුරුදු ලුණු         රහට

සැබෑ සෙනෙහස

මා හද සෙනෙහස මහ සමුදුර මැද
ඔබෙ පෙම දිය බිඳුවක් වූවා
ඒ දිය බිඳුවට සෙනෙහෙ පුදන්නට
මා හද වැලි කතරක් වේවා....!

වසන්තය

මලක සුවඳ විල නොදනී නම්          කිසිදා
නුඹ පිළිගන්නම් බඹරුනි පෙති        විහිදා
මා සනසාපන් රිසිසේ සිත               පහදා
සිනා නගන්නට දෙනු මැන දුක        පිසදා

කටු තුඩු වැද මල් පෙති සීරුණා         මිස
නටුවට මොටද ඒ පෙතිවල මුදු        පහස
වියලුනු දෙතොල් පොගවා නිවනා   පවස
නුඹටයි මාගේ ජීවිතයම මතු            දවස

පුර සඳ දිලුණ අහසට ආදරය         කොට
පැරදී දැවුනි ගිනියම් හිරු නැගෙන      විට
පරවී වැටුණු කුලුඳුල් එම පියුම           යට
සුරැකුණු සුවඳ බිඳ පුද දෙමි නුඹට     හෙට

සමාන-අසමාන

හිමිදිරියේ නැගිට
කුස පුරවා ගනු පිණිස
කඩිසරව දිව යන
චූලෝදරලා අතර,
මහත් වූ විසල් කුස
කුඩා කර ගනු පිණිස
ආයාසයෙන් දුවන
මහොදරලා ද දුටිමි
අගනුවර වීදියක....

සොඳුරු හද

ධවල පතකි මගෙ හදවත
කවි ලියන්න ඔබට දුන්න
කඳුලු වලින් කිළිටි නොකර
සොඳුරු සිහින පද බදින්න
දිවිය පුරා රස විදින්න...

හිස් බව

කාළ වර්ණ තාර බැර
පාර තනා හිස් වුණ දා
පාර වසාගෙන සිටියා
පාට පාට සළු පළදා.....

හිරය

රාමුවෙන් පිට පැන්න 
මගේ යෞවන හැගුම්
රාමුකර එල්ලුවෙමි
අපේ නව නිවහනේ
මගේ මංගල දිනේ......

ස්වීප් ටිකට්

ඇවිද්ද පය දහස් වටී
වටහා ගන්නට නොහැකී
මොණරු නොදුටු පසුම්බියේ
සිල්ලර කෙදිරිලි ඇසුනා...

පාද යත්‍රා හිල් වී
වැසි දිය මඩ රිංගාගෙන
මගෙ දෙපතුල කිති කවමින්
චිරි චිරි ගා හිනා වුණා...

ලක්ෂ ගණන් තෑගි බෙදා
වාසනාව විකුණාගෙන
රස ඉල්ලන කුස රවටන
අවාසනාවන්තයි මං...

පළා ගිය පෙම

හිරු පායා නැග එද්දී                      උදාගිරෙන්
සඳ සැඟවී බැස යනවා                  අවරගිරෙන්
දුප්පත්කම ගෙට එනකොට              ඉදිරිපසින්
නුඹෙ සෙනෙහස පැන දිව්වා පෑළ        දොරින්

කටු මැටි බිත්තියෙ තැන තැන සිදුරු       වෙලා
පොල් අතු වහල ගෙට වැහි පොද එකතු    කළා
බලු කුක්කා ගෙයි පිළ උඩ වාඩි               වෙලා
තනි රැක්කා නුඹ නැති රෑ ළගට               වෙලා

තෙල් නැති පහනෙ ආලෝකය මිලින     වෙලා
මගෙ ජීවිතය අඩ අඳුරට පුරුදු                  කළා
පාලුව තනිය ඉවසාගත නොහැකි            වෙලා
කඩමලු පැදුර ඇත ගෙයි මුල්ලකට         වෙලා

නුඹ නොලද හෙයින්

උදා වන විට පුර සඳක්
අමාවක රැය අමතකයි
සිනාසෙන විට එක වරක්
කඳුලු ගගුළක් නෙත තෙමයි...

පිය නගද්දී පියවරක්
පියවරක් මග හැරුණා
සිතින් ලං වන විට තවත්
ගතින් ඈතට ඇදුණා...

උදා වෙද්දී නව දිනක්
තවත් දවසක් ගෙවුණා
සිනාසෙද්දී තව සිතක්
නුඹ නොලද මා තැවුණා...

දේව භක්තිය

වේගයෙන් ඇදී ආ
සැප රියක් නතර විය
පල්ලියේ ඉදිරිපස
විසල් ගේට්ටුව ළග...

ඒ රියෙන් බිමට බට
සුරඟනක්  වන් ළඳක්
පිච්ච මල් සුවඳ දී
ඉදිරියට ඇදුනාය...

ඉරී ගිය රෙදි කඩින්
යන්තමින් විලි වැසුන
කුඩා කොලුවෙකුගේ අත
දිගු වුණා ඇය වෙතට
බලාපොරොත්තු ඇතිව
රුපියලේ කාසියක්...

ඒ අඳුරු නෙත් සගල
දෙස බලා නොදුටු සේ
පල්ලියේ දොරටුවෙන්
ඇතුළු විය ඇය විගස...

ගව ලෙනක ලොව දිනූ
දිළිඳු බිළිදා අසළ
දනින් වැටුනාය ඇය
මහත් අභිමානයෙන්
මහත් වූ භක්තියෙන්...

සිහිනයක්

නුඹේ දෙනෙතට පෙම් කළා මම කවි ලියා
මගේ කවියට කඳුළ මුසු කොට නුඹ ගියා
මේ තරම් තව නුඹට පෙම් කළ හදවතක්
තියේ නම් වෙන කොතැන හෝ එය සිහිනයක්...

කියා ගන්නට බැරි තරම් හද ආදරේ
දරා ගන්නට බැරි තරම් බර දී ගියේ
මේ තරම්  නුඹ ආදරෙන් මට ලං වෙලා
හීනෙකින් වත් නොසිතු සේ අද වෙන් වෙලා...

අගය

මගේ දුක ළග නුඹේ නෙතු අග
කඳුළු බිඳු නැගුණා...
මගේ සැප ළග නුඹේ දෙතොලග
සිනා මල් පිපුණා ...
මගේ තනිකම
නුඹේ සෙනෙහස
නිසා මග හැරුණා...
මගේ පිනකට මගේ වී නුඹ
අගේ මට දැනුණා...

බිඳුණු සිල්පද

පස්වැනි සිල්පදය බිඳ
පදම් වී පමිණි ඔහු,
පළමු සිල්පදය ද
බිඳ දැම්මේය...
තුන් වැනි සිල්පදය බිඳ,
සතර වැනි සිල්පදය ද
බිඳ දමන්නට සැරසුණු
 සුරූපී තම බිරිඳ නිසා...

21 වැනි සියවස

මොඩ්න් ෆොන්ට් යොදා
පරිඝනකයෙන් සැලසුම් කොට
ලිතෝ වර්ණයෙන් මුද්‍රිත
21 වැනි සියවසේ
දින දසුනක දුටිමි
5 වැනි සියවසේ ඉදිවූ
සීගිරියේ පින්තූරයක්....

සුවඳ සෙනෙහස

රුවැති මල සේ සුවඳ වූයේ නම්
සොඳුරු ප්‍රේමය නපුරු ඇයි මෙතරම්
පිපුණු සැණෙකින් මිලින වේ නම්
සුවඳ අරගෙන සුළඟ සේ යන්නම්....

පමාව

විසල් සරසවි බිමේ දහසකුත් නෙත්                 මැදින්
මගේ සිත නතර විය නුඹේ නිල් නෙතු             ළගින්
පැතුම් මල් විකසිතව නුඹට පුද දෙනු                රිසින්
සෙනෙහසින් තෙමී හද බලා සිටියෙමි               දුරින්

සිත පුරා ළැගුම් ගෙන රැඳුණු මුදු වත            සොඳුරු
හද පුරා ලියන්නට පද පෙළක් විය                   මියුරු
අමා සුවයක් දැනුනි පෙර දිනක විඳ                 නුහුරු
පුදුමයකි මුළු ලොවම අමතකව ගිය                 අයුරු

නුඹට පෙම් කරන්නට දිරිය තිබුණත්                සිතට
මුවට බැරි වුනේ ඇයි නුඹට එය                 කියන්නට
පමා වී පැතූ පෙම අහිමි වී ගියත්                          මට
සදා ආදරෙයි මම එදා දුටු නුඹෙ                     නෙතට

සෙලියුලර් ප්‍රේමය

ප්‍රතිචාරයක් නැති නුඹට
SMS කළ
මගේ ළෙන්ගතුකමට
Ring cut එකක් දුන්
Missed call එකකි
නුඹේ පෙම....

බොඳ වූ සිහිනය

සාගරයට ආදරය කරන්නට ගඟක් වෙලා
බාධක අතරින් ආවෙමි මග දුරු කතර ගෙවා
දසතින් ඇදිලා ඇවිදින් ගගා සයුර සිඹී
යා යුතුවේ යළි එනමුදු ආපසු යා නොහැකී....